COLOMBOSCOPE 2021 / Festival Concept

භාෂාව සංක්‍රමණිකයි 

Curated by Anushka Rajendran • With Artistic Director Natasha Ginwala

කලම්බුස්කෝප්හි හත් වන අදියර චිලී ජාතික කිවිඳියක හා දෘශ්‍ය කලාකාරිනියක වන සිසිලියා විකූනාගේ භාෂාව සංක්‍රමණිකයි (ලැන්ග්වේජ් ඉස් මයිග‍්‍රන්ට්) නමැති පද්‍ය-ප්‍රකාශනයෙන් ආරම්භ වේ. "වචන භාෂාවෙන් භාෂාවට, සංස්කෘතියෙන් සංස්කෘතියට, කටෙන් කටට, සංක්‍රමණය වෙනවා. අපේ ශරීර සංක්‍රමණිකයි; සෛල සහ බැක්ටීරියාත් සංක්‍රමණිකයි. චක්‍රාවාට පවා සංක්‍රමණය වෙනවා.” බරපතළ අහිමිවීම්, නිශ්ශබ්දතාවය සහ මකාදැමීම් හි දැඩි බලපෑම් වලින් සිය අමුද්‍රව්‍ය උකහා ගනිමින් සබඳතා යළි අලුත්වැඩියා කරන අතර, සාමාජීය ආඛ්‍යාන, නිල වාර්තා, සහ යට ගැහුනු ඉතිහාස අතර පාලමක් ලෙස භාෂා ස්වරූප අභිනවයෙන් සකසමින්, අපේ කාලයේ අනිවාර්ය සංචාරකයෝ සහ කතාකාරයෝ ලෙස, කලාකරුවෝ නිර්මාණකරණය, අර්ථ සම්පාදනය, එමෙන්ම රඟ දැක්වීම යනාදියේ නිරත වෙති.

 

මෙම උළෙල ශ්‍රී ලංකාව, දකුණු ආසියාව සහ විවිධ වූ ජාත්‍යන්තර සංදර්භ ඔස්සේ අන්තර්-පරම්පරාමය සංස්කෘතික ක්‍රියාකාරකම් පරාසයක් එක්තැන් කරන්නේ ගෝලීය සංවාදයක් අවුලුවාලමිනි. අනුෂ්කා රාජේන්ද්‍රන්ගේ අභිරක්ෂණයෙන් සහ නටාශා ගින්වාලාගේ කලාත්මක අධ්‍යක්ෂණයෙන්, කලින් පවරා නිර්මාණය කරනු ලබන කලා ව්‍යාපෘති සහ දීර්ඝකාලීන ව්‍යාපෘති කීපයක් ඔස්සේ සාමූහිකව කටයුතු කිරීමේ ශක්‍යතාවන් මෙමඟින් වැළඳ ගන්නේ උත්සන්න වෙමින් පවතින ප්‍රාදේශීය ඇවතුම් සහ ඒකීය භූගෝලීය වපසරියක සිරවී සිටීම ප්‍රතික්ෂේප කරමිනි. නිර්මාණ ක්‍රියාවලියේ අඛණ්ඩ ගලායාම සඳහා, ශ්‍රවණය වූ දේ, සජීවී සම්බන්ධකම්, කියවීම සඳහා වූ අවකාශය, චරිතාපදානමය කාලගණනය, නිමග්නව අසාසිටීම සහ ඩයස්පෝරාවේ කොටස්කරුවෙක් වීම, වැනි තත්වයන් මූලික වෙයි.

 

චක්‍රීය පැවැත්ම සෑම ජීවියෙකුටම පොදු බව අප හඳුනාගත්තද, වාග්විද්‍යාත්මක දේහ භූගෝලීය සන්දර්භ හරහා ගමන් කරමින් බහුශාබ්දික භාෂා විශේෂ වලින් සුසැදි සමාජ ජාලා සහ විසිරුණු ස්මරණ කලාප විපරිවර්තනය කරන ආකාරය අප බොහෝවිට සලකා බලන්නේ නැත.

පෘථිවිය තුළ අපගේ සාමාන්‍ය පැවැත්ම, චලනය සහ නිශ්චලත්වය වටා ගොනු වන අතර, බලහත්කාරයෙන් කෙරෙන එහාමෙහා කිරීම් පිළිබඳ ඓතිහාසික වැරැද්ද සිහියට ගනිමින් අප අසන්නේ : දේශපාලන සහ ආර්ථික සම්බාධක අතික්‍රමණය කරමින් විප්ලවීය ලෙස සිදුකරන සංක්‍රමණය, සක්‍රීය ජන කොට්ටාශ එක්ව කටයුතු කිරීමේ අවස්ථාවක් සනිටුහන් කරයිද? පෘථිවියේ පැවැත්ම, භූ චලන විපර්යාස, චලවාසී සත්ව වර්ගයා, සමුද්‍ර ප්‍රවාහ වැනි මනුෂ්‍ය අත්දැකීම් වලට එපිටින් වූ සංක්‍රමණික ප්‍රවාහ වලින් ද සමන්විත හෙයින්, සංචලනයෙන් යුතු භාෂා ස්වරූප වලට සවන්දීම මගින් ඉතා වෙහෙස මහන්සියෙන් දිනා ගත් බහුවිධ ප්‍රවාහ වැලඳගැනීමට අවස්ථාව සැලසේද?

 

 සමාජ හුදෙකලාභාවයේ සහ ප්‍රහාරාත්මක භාෂා රටාවල අහිතකර බලපෑම නිසා පිබිදුනු ජීවිතයක් සඳහා උවැසි වචනකෝෂයක් නිර්මාණය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් අපට ඇති කෙරේ. කවියෙක් සහ නවකතාකාරයෙක් වන ඕෂන් වොං සඳහන් කරන්නේ, ‘ඔබ භාෂාවේ අනාගතයේ කොටස්කරුවෙක්ය’ යනුවෙනි. මෙම කියවීම ඔස්සේ පුරාකතාදාම වලට ඇතුල්වීමේ ඉඩකඩ විවෘත කෙරෙනවා මෙන්ම, විධිමත් ‘අධ්‍යාපන’ අධිකාරිය විසින් නිශ්චය කරන විෂයපථයට පරිබාහිර නව ආකෘති ගොඩනැගීමටත්, ස්ව-කැමැත්ත මත පිහිටුවා සිටීමට යොමු කිරීමටත් හැකි වේ. ජීවන පැවැත්මේ රිද්මයන්ට ලියවුණු, අන්තර්ග්‍රහණය වූ ආඛ්‍යාන, පංචේන්ද්‍රියෙන් රාමු වුණු සාක්ෂි, පලුදු වුණු සම්බන්ධතා සහිත හවුල්කරුවන් අතර නැවත දලුලා වැඩෙන සබඳතා, විදේශීය භාෂාවක් ඉගෙනීමේ දැවැන්ත කර්තව්‍ය, (රාජ්‍ය) මායිම්තීර හරහා පෙරී එන ගීපද වැල් සහ සාගර තරණයේදී සිය මව් භාෂාව ගිලිහීයාම වැනි ආඛ්‍යාන වලට භාෂාව සංක්‍රමණිකයි විසින් ආරාධනා කෙරේ. එසේ වන්නේ, සාක්ෂිකරු සහ සාක්ෂි යන ද්වි-පාර්ශවික ස්වභාවය ඔස්සේ මතු වී එන, එකිනෙක හා බැඳුනු එවැනි සබඳතා, එකිනෙකා මත රැඳෙමින් මිස පැවැත්මක් ලබා නොගන්නා බව අප පසක් කරගන්නා හෙයිනි.